Tuesday, June 12, 2018

# Crochet # featured

සාධාරණ ලාභයක් ලැබෙන ලෙස ගෙතුමක මිල තීරණය කිරීම - Tips for Pricing your Crocheted Products



ගෙතුම් කලාව කියන්නේ ඉතා වටිනාකමක් තියෙන කලාවක්, මේ නිර්මාණයක් සදහා ගත වන කාලය, නිර්මාණයක කලාත්මක බව සහ නිමාව මත මේ වටිනාකම තීරණය වෙනවා. 
ඉතින් ඒ වගේම මම දැක්කා බොහෝ දෙනෙක් මේ වටිනාකම ගැන හරි හැටි අවබෝධයක් නැති කමින් සහ ගෙතුමකට මිලක් තීරණය කරන නියමිත ආකාරයක් ගැන නොදන්නා කමින් ඉතා අඩු මුදලකට තමන්ගේ නිර්මාණයන් අලෙවි කරන හැටි. 
මෙහිදී නිර්මාණය මිලට ගන්නා අය එහි වටිනාකම නොදැන සිටීමද නිර්මාණය කෙසේ හෝ විකුණාගත යුතු බැවින් විකිනෙණ මිලකට අලවි කිරීමද සිදුවන බව දැනගන්නට ලැබුණා. මම හිතනවා මේ තත්වය වෙනස් කල හැකියි අපි හැමෝම එකතු වුනොත් කියලා.
ඉතිං මම මීට දින කිහිපයකට කලින් මේ වන විට අලෙවි කිරීම් කරන අය මිල තීරණය කරල තියෙන විදිහ ගැන සහ මුහුණපාලා තියෙන ගැටළු ගැන පොඩි කරුණු විමසීමක් කලා. මේකට අපේ ගොඩක් අය විවිධ මිල ගණන් සහ ගැටළු ඉදිරිපත් කරල තිබුණා.
ඔන්න එහෙනම් මම අද මිල කිරීම් කරන විදිහ ගැන ඔයාලා ඉදිරිපත් කරපු පිළිතුරුත් උදාරණයට අරගෙන කියල දෙන්න තමයි යන්නෙ. 
මෙහිදී මම ඔයාලගෙන් වීමසීමක් කලා ඔයාලා අලෙවි කරන නිර්මාණ ගැන, අලෙවි කිරීම් කරන මාධ්‍යය/ක්‍රමවේදය ගැන, අලෙවි කරන මිල වගේම නිර්මාණය සදහා යන කාල වේලාව ගැනත්.
බොහෝ පිළිතුරු වලින් මට හැඟී ගිය දේනම් අලෙවි මිල තීරණය කිරීමේදී ගොඩක් අය යාර්න් සදහා ගිය මිලට සුළු මුදලක් ලාභය වශයෙන් තියාගෙන මීල තීරණය කර ඇති බව. එවිට නිර්මාණය කිරීමට අපට වැය වූ කාලය සදහා වටිනාකමක් ලැබිලා නැහැ.
හැමෝම වගේ පිළිතුරක් විදිහට සදහන් කරල තිබ්බ ළදරු තොප්පිය උදාහරණයක් විදිහට ගත්තොත් මෙය 150 වගේ මුදලකට විකුණන අයත් මේ අතර හිටියා. ඒ වගේම එම මිල ලකුණු කල තොප්පිය ගෙතීම සදහා ගත වන කාලය පැය 5ක් ලෙසත් සදහන් කරලා තිබුණා.

දැන් අපි හිතමු මේ තොප්පිය ගෙතීම සදහා handy yarn 25g ගියා කියලා.

handy yarn 25g ක මිල - 45 සිට 60 දක්වා දැක්විය හැකියි. අපි මිල 60ක් කියල හිතමු.
තොප්පිය ලකුණු කල මිල = 150/-
ලාභය = 150 - 60 = 90/-
තොප්පිය ගෙතීමට ගිය පැය ගණන = 5
ලාභය අනුව පැයකදී ලැබෙන ආදායම = 90/ 5 = 18/- 😓

මෙහිදී මම විමසුවා දිනකට ගෙතීම සදහා ගත කරන කාලයත්. දැන් ඉහත උදාහරණය අනුව අපි බලමු මාසික ආදායම කීයක් ලැබෙනවද කියලා.

මෙම මිල කීරීම් කර ඇති බෝහෝ දෙනා සදහන් කර තිබූ ආකාරයට බහුතරයක් දිනකට ගෙතුම් සදහා ගත කරන කාලය පැය 5 ට අඩුයි. එවිට ඉහත උදාහරණයට අනුව දිනක ආදායම/ලාභය වන්නේ 90/- වගේ මුදලක්.
අපි හිතමු අපි මසකට දින 20 පමණ ගෙතුම් සදහා යොදාගන්නවා කියලා. බබාලගේ වැඩ ගෙවල් වල වැඩ ඔක්කොමත් අතරෙනෙ මේවා කරන්නේ.
මසකට ආදායම/ලාභය = 90 X 20 = 1800/-
මසකට ලැබෙන සම්පූර්ණ ලාභය වන්නේ රු 1800/- ක්. 😞
😞😞😞😞
දැන් ඔයාලම හිතල බලන්න මේ මුදල ප්‍රමාණවත් ද කියලා. නැහැ නේද?



එහෙනම් මම දැන් ඔයාලට කියල දෙන්නම් නියම විදිහට මිල කිරීම් කරන විදිහ
ඉස්සෙල්ම කොලේකුයි පෑනකුයි ගන්නකො ළගට.
දැන් මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු ඒ කොළයේ ලකුණු කරගන්න.
  • තොප්පියක් (හෝ ඔබ කරන වෙනත් නිර්මාණයක්) කිරීම සදහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය වල වටිනාකම (මෙයට යාර්න්, බොත්තම්, රිබන්, අමුද්‍රව්‍ය මිලදී ගැනීමට යාම සදහා ගමන් කාලයක් වැය උනේනම් එය හෝ නිර්මාණය සදහා විදුලිය වැය උනේනම් එම මුදට පවා එක් කල යුතුයි) ? අපි මෙය M - Materials ලෙස නම් කරමු.

  • නිර්මාණය කිරීමට ගත වන කාලය පැය වලින් (දින කිහියක් යන නිර්මාණයක්නම් දිනකදී කොපමණ පැය ගණනක් ගත කලාද යන්න බලන්න) ? අපි මෙය H - Hours ලෙස නම් කරමු

  • ඔබගේ කාලය පැයක් සදහා වටිනාකම ( මෙය මාසික ආදායම අනුව ඔබ තීරණය කල යුතුයි) ? අපි මෙය R - rate ලෙස නම් කරමු.

දැන් අපි අපේ අවසාන නිර්මාණයේ වටිනාකම V - Value ලෙස ගෙන මිල නිර්ණය කරන සමීකරණය සදාගනිමු.





🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺

V = M + (R x H)

නිර්මාණයේ වටිනාකම = අමුද්‍රව්‍ය වල වටිනාකම + (කාලය පැයක් සදහා වටිනාකම x නිර්මාණය කිරීමට ගත වන පැය ගණන)

🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻

අගයන් ආදේශ කලොත්
V = 60 + (R x 5)
දැන් අපි R සදහා අගයන් ආදේශ කර මාසික ආදායම ගණනය කරමු.
__________________________________________
R සදහා වටිනාකම 100 ලෙස ගනිමු
V = 60 + ( 100 x 5 ) = 60 + 500 = 560
දිනකට ගෙතීම සදහා යොමු කරන කාලය පැය 5යිනම් දිනක ආදායම = 500
මසකට දින 20 පමණ ගෙතුම් සදහා වෙන් කරන්නේනම් මාසික ආදායම = 500 x 20 = 10 000
___________________________________________
R සදහා වටිනාකම 150 ලෙස ගනිමු
V = 60 + ( 150 x 5 ) = 60 + 750 = 810
දිනකට ගෙතීම සදහා යොමු කරන කාලය පැය 5යිනම් දිනක ආදායම =150 x 5 = 750
මසකට දින 20 පමණ ගෙතුම් සදහා වෙන් කරන්නේනම් මාසික ආදායම = 750 x 20 = 15 000
________________________________________________

මෙන්න මේ ආකාරයට ඔයාල නිර්මාණය සදහා වෙන මහන්සියට ගැලපෙන ලෙස මිල තීරණය කරන්න පුළුවන්. මෙයට තවත් තැපැල් ගාස්තු හෝ courier ගාස්තු තිබේනම් වෙනම එක් කල යුතුයි.

Price = V + Postage or Courier charges
ඒ වගේම ගොඩ දෙනෙක්ට තියෙන ගැටළුව වෙන මේ නියම මිලට අලෙවි කරගන්න බැරි ගැටළුව ගොඩක් වෙලාවට ඇති වෙලා තියෙන්නෙ බොහෝ දෙනෙක් ඉතා අඩුවට තමන්ගේ නිර්මාණ අලෙවි කිරීම නිසා වටිනාකම ගැන අනෙක් අයට ඇති දැනුම මදි කම. මේ නිසා මම හිතනවා අලෙවි කරන හැමෝම මේ දේ තේරුම් අරන් හරි විදිහට මිල කීරීම් කලොත් ඒ ගැටළුවට විසදුමත් අපිට ලැබෙයි කියලා.

SaveSave

2 comments:

Follow Us @soratemplates